Monday, June 28, 2010

සෝම හාමුදුරුවෝ - පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි චරිතාපදානය

දැන් කියන්න යන්නෙ මෑත කාලයේ ඉතාමත් ජනප්‍රිය වෙච්ච චරිත කතා පොතක් පිළිබදව.ඒ තමයි "සෝම හාමුදුරුවෝ - පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි චරිතාපදානය" නම් කෘතිය.මේ කෘතිය ලියා තිබෙන්නේ මා හිතමිත්‍ර මාධ්‍යවේදිනී "ඉන්දු පෙරේරා" මහත්මිය විසින්."ඉරිදා ලක්බිම" පත්‍රයේ කොටස් වශයෙන් පළ වූ මේ කතාව පොතක් ලෙස ප්‍රකාශයට පත් කරල තියෙන්නෙ 2001 වර්ෂයේ නොවැම්බර් 30 වන දා.

මෑත ඉතිහාසයේ මෙරට පහළ වූ ධර්ම විනය පිළිබද මනා පරිචයකින් යුතු විචිත්‍රවත් ධර්ම කථිකයාණන්වහන්සේ නමක ලෙස ජනතා සම්භාවනාවට පත් වන පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන්වහන්සේගේ ළමා විය, තුරුණු විය සහ පැවිදි ජීවිතයේ පළමු දශක දෙක මුල්කොට ලියැවී ඇති මෙම ග්‍රන්ථය මගින් උන්වහන්සේගේ ජීවන චරිතය විවරණය වන අතරේම සමකාලීන බෞද්ධ ජන සමාජය පිළිබද හරවත් දැනුම් සම්භාරයක්ද පාඨකයා වෙත ප්‍රදානය කෙරේ.

මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්‍රකාශිත කෘතියකි.

මහ පොළොව මධ්‍යයට ගිය ගමන

අද මම කියන්න යන්නෙ "ජිනේන්ද්‍රවංශ ද සිල්වා" මහත්මයා විසින් පරිවර්තනය කරනු ලැබූ "මහ පොළොව මධ්‍යයට ගිය ගමන"  නමැති කෘතිය ගැනයි.

"ජූල්ස් වර්න්" විසින් 1864 දී ලියනු ලැබූ "Journey to the center of the Earth" කෘතියේ සිංහල පරිවර්තනය වූ මෙම පොත, මුලින්ම ලියවී ඇත්තේ ප්‍රංශ භාෂාවෙන්.

රහස් අකුරින් ලියූ ලියවිල්ලක් මහාචාර්ය ලිඩොන්බ්‍රොක් හට හමු වූ පසු තම බෑනා ද, මාර්ගෝපදේශයකු ද සමග අයිස්ලන්තයට චාරිකාවක යෙදේ.පෘතුවි මධ්‍යය කරා ගිනිකදු ශිඛරයක ආවාටයෙන් අභ්‍යන්තරයට පිවිසෙන ඔවුහු රහස් මාවතකට පිවිසෙති.ඉක්බිති තවත් අභ්‍යන්තරයට ගොස් ප්‍රාග් ඓතිහාසික අත්භූත මුහුදු සත්වයන්ගෙන් ගහණ වූ පාලු භූගත මුහුදක් හරහා ආපසු නො එතැයි සිතෙන චාරිකාවකට යොමුවෙති.

මේ පරිවර්තනයෙහි තියෙන දුර්වලකමක් විදිහට මට පෙනෙන්නෙ ඉතා කුඩා පරිච්ඡේද වලින් යුත් වීමයි.

මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්‍රකාශිත කෘතියකි.

Thursday, June 24, 2010

සංසාර බන්ධන


මුලින්ම මම ලියන්න යන පොත තමයි "තිලක කුඩාහෙට්ටි" මහතා රචනා කරපු "සංසාර බන්ධන" කියන කෘතිය.මේ පොතේ තියෙන කතාවේ සාරාංශය මෙහෙමයි.

එක්තරා සිංහල ප්‍රාදේශීය දේශපාලඥයෙකු තමන්ගේ බාල පුතු හමුදාවට යවයි.ඔහුගේ උවමනාව බාල පුතු දෙවෙනි දුටුගැමැණු කුමාරයකු කිරීමය.එහෙත් යුදවාදී මානසිකත්වයක් නැති තරුණ ගුරුවරයකු වන ඔහුගේ වැඩිමහල් දරුවා මෝහන ප්‍රතිගමනයකට ලක් කිරීමේදී ඔහු ඉහත ආත්මයේදී ද්‍රවිඩ තරුණයකු බව සනාථ වෙයි.එමෙන්ම ඔහු ඉහත ආත්මයේදී ජීවිතයෙන් වන්දි ගෙවා ඇත්තේද මේ සාපලත් ජාතිවාදය නිසාය.එනම් ඔහු උඩරට සිංහල තරුණියකට ප්‍රේම කිරීම
නිසාය.

මෙම දේශපාලඥයාගේ වැඩිමහල් පුතුට කිරි වෙහෙර අබියසදී මුණ ගැසෙන සුරූපී තරුණියක් නිසා මේ සියල්ලන්ගේ ම ජීවිත උඩුයටිකුරු වෙයි.මේ තරුණ ගුරුවරයා ඉහත ආත්මයේ කවුද?කිරි වෙහෙර අබියස ඔහුට දැඩි කම්මුල් පහරක් එල්ල කරන මැදිවියේ සුන්දර කාන්තාව කවුද?දැඩි මානසික පීඩනයට ලක් වන මේ තරුණ ගුරුවරයාට ඔහුගේ ඉහත ආත්ම භවයේ තම ද්‍රවිඩ දෙමාපියන් හා ඔහු කුරිරු ලෙස ඝාතනය කරන ලද මිනීමරුවාද ඔහුට මුණ ගැසීමට ලැබේවිද?

ජාතිවාදය මෙන්ම කුලවාදය හා ආගම්වාද ද කරපින්නා ගෙන කුළල් කා ගනිමින් අප නටන නාඩගම අර්ථ ශූන්‍ය හුදු මායාකාරී වෙස් නැටුමක් බව මේ වෘත්තාන්තයෙන් ගම්‍යවේ.


මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්‍රකාශිත කෘතියකි.


(මේ පොතෙහි දෙවන කොටසක්ද ඇත.නමුත් ඒ පොත තවමත් කියවා නැති බැවින් ඒ පොත ගැන සටහනක් පසුවට තබමි.)

Wednesday, June 9, 2010

"පොතක් ගැන යමක් "

ලුත් බ්ලොග් එකක් පටන් ගන්න ඕනෙයි කියල හැමදාම හිත හිතා හිතියත් අදයි මේ අලුත් බ්ලොග් එක පටන් ගත්තෙ.මම මුලින්ම පටන් ගත්තු "චරිත්ගෙ සිතුවිලි" කියන බ්ලොග් එකේ දැන් දිගටම පල වෙන්නෙ ඉන්දු පෙරේරා ලියන ලිපි නිසා මට වෙනම බ්ලොග් එකක් මගේ විනෝදාංශ වලින් එකක් වන පොත් කියවීම පදනම් කරගෙන පටන් ගන්න ඕන කියල හිතුන.ඉතින් ඒ නිසා තමයි "පොතක් ගැන යමක්" කියන මේ බ්ලොග් එක මම පටන් ගත්තෙ.

මේ බ්ලොග් එකේ මම ලියන්න බලාපොරොත්තු වෙන්නෙ මම කියවන සිංහල හා ඉංග්‍රීසි පොත් ගැන පොඩි හැදින්වීමක් විතරයි.හැබැයි මම පොත් ගැන විචාරයක් නම් ලියන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ.බොහොම සරලව මම කියවපු පොත් ගැන හැදි
න්වීමක් විතරයි මම මේ බ්ලොග් එකේ ලියන්නෙ.

ඉතින් ඊලග බ්ලොග් සටහන තබන තුරු ඔබට "ආයිබෝවන්".