Monday, December 20, 2010

සත්සයුර

"සත්සයුර" කෘතිය "ජයසේන ජයකොඩි" මහතා විසින් ලියන ලද කෘතියකි.

"සත්සයුර" කෘතිය සාම ජාතකයේ බුද්ධකාලීන කතාවස්තුවට ජාතක කතා දෙක, තුනක අසාමාන්‍ය චරිතාංග කිහිපයක් අවුණා ඔප්ගන්වා ලියූ කෘතියකි.

මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම"  විසින් ප්‍රකාශිත කෘතියකි.


Monday, November 29, 2010

විසිරුණු මල් පෙති

"විසිරුණු මල් පෙති" කෘතිය "චන්ද්‍රසිරි දොඩන්ගොඩ" මහතා විසින් ලියන ලද නවකතා පොතකි.

අම්මාත්, තාත්තාත් නැති අවජාතක දරුවෙකු වූ "භාග්‍යා" නම් යුවතිය වටා මේ කතාව ගෙතී ඇත. මුලින් කටුක ජීවිතයක් ගත කළත් පසුව විශාල ධනයකට ඇය හිමිකම් කියන ආකාරය මේ නවකතාවෙන් කියවේ. මේ කතාව මුලින්ම පළ වී ඇත්තේ "ඉරිදා දිවයින" සමඟ පිරිනැමෙන "මීවිත" අතිරේකයෙහිය.

මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම"  විසින් ප්‍රකාශිත කෘතියකි.

කොස් ගස් හන්දිය

"කොස් ගස් හන්දිය" නම් කෘතිය "ඒ. ඩී. රන්ජිත් කුමාර" නම් චිත්‍රපට විචාරකයාගේ ජීවිත කතාවයි.

රන්ජිත් කුමාර සිනමා පුවත් පත් කලාවේදියෙකු බවට පත් වූ ආකාරයත්, පොත් පිට කවර නිර්මාණය කළ ආකාරයත්, ආනන්ද විද්‍යාලයේ සිටියදී "නිම් වළල්ල" චිත්‍රපටිය නිර්මාණය කළ ආකාරය ආදී තම ජීවිත අත්දැකීම් මේ පොතෙහි විස්තර කර ඇත.

මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම"  විසින් ප්‍රකාශිත කෘතියකි.

Sunday, October 31, 2010

ගුරු මහ දසාව

"ගුරු මහ දසාව" කෘතිය "ජයකොඩි සෙනෙවිරත්න" මහතා විසින් ලියන ලද කෙටි කතා පොතකි.

මෙහි කෙටිකතා 11ක් ඇත. මෙහි ඇති කතාවල සිදුවීම් හා චරිත බොහෝ විට හාස්‍යය සමඟ අප තුළ අනුකම්පාවක්ද උපදවයි.

එමෙන්ම අප සමාජයේ වෙසෙන විවිධාකාර පුද්ගලයින්ගේ ගති සොබාව හා චර්යාවන් ඉතා සාර්ථක ලෙස විවරණය කරන්නට ජයකොඩි සෙනෙවිරත්න මහතා ඒ ඒ චරිත හා සිදුවීම් උපයෝගී කරගෙන ඇති බව පෙනේ.

මෙහි ඇතුළත් කෙටිකතා 11 මෙසේය.

1.  භෝජන සංග්‍රහය.

2.  හිඟන්නගෙ පාත්තරේ.

3.  සෙනෙහෙබර සැමියෙක්.

4.  කුලියට දීමට තිබේ.

5.  දාඩිය මහන්සිය.

6.  ගුරු මහ දසාව.

7.  දොස්තරගෙ අවතාරය.

8.  ආච්චිගෙ පේරු දානය.

9.  දඩයමක්.

10. ඩෙංගු නඩුවක්.

11. නැන්දගෙ දාහෙ නෝට්ටුව.

මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම"  විසින් ප්‍රකාශිත කෘතියකි.


ගී ද මෝපසාං ගේ ප්‍රබන්ධ

"ගී ද මෝපසාං ගේ ප්‍රබන්ධ" කෘතිය "ඩේඩිඩ් කරුණාරත්න" මහත්මයා විසින් පරිවර්තනය කරන ලද "ගී ද මෝපසාංගේ" කෙටි කතා ඇතුළත් කෘතියකි.

මෙහි ගී ද මෝපසාංගේ කෙටි කතා 11ක් ඇතුළත්ය. ඒවා නම්,

1. වන්දි ගෙවීම.

2. නූල් කෑල්ල.

3. රූ සපුව.

4. මහා මෝඩකම.

5. හඳපාන.

6. ප්‍රීතිමත් පවුලක්.

7. මල් අම්මා.

8. ගැළවීම.

9. කොකෝ වෙළෙන්දා

10. කැලෑවේදී.

11. හොඳ නරක.

එමෙන්ම මෙම කෘතියෙහි ගී ද මෝපසාංගේ ජීවිත විත්ති ඇතුළත් උප ග්‍රන්ථයක්ද ඇතුළත් කොට ඇත.

මෙය "ඇම්. ඩී. ගුණසේන සහ සමාගම" විසින් ප්‍රකාශිත කෘතියකි.


Monday, September 27, 2010

සුව අසපුව

"සුව අසපුව" කෘතිය "ජයසේන ජයකොඩි" මහතා විසින් "පූජ්‍ය පරවහැර චන්දරතන නාහිමිගේ" ජීවිත කතාව පාදක කර ගෙන ලියන ලද කෘතියකි.

චන්දරතන හිමියන් ගිහි ජීවිතය ගත කළ ආකාරය, පැවිදි වූ ආකාරය හා තරුණ ජීවිතය භික්ෂුවක් ලෙස ගත වූ ආකාරය මේ පොතෙහි විස්තර වේ. එමෙන්ම 71 කැරැල්ල සමයේ භික්ෂුවක් ලෙස එම හිමියන් මුහුණ දුන් දුෂ්කරතාවයද මේ පොතෙහි දැක්වේ. එමෙන්ම සමාජයේ එතරම් ප්‍රකට නොවන භික්ෂු ජීවිතය ගැනද මේ පොතෙහි සවිස්තරව දැක්වේ.


මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම"  විසින් ප්‍රකාශිත කෘතියකි.

සසර කතරේ කථාවක්

"සසර කතරේ කථාවක්" කෘතිය "තිලක් සේනාසිංහ" මහතා විසින් ලියන ලද්දකි.

මෙය "රැජින" පත්‍රයේ පුරා සති එකසිය දෙකක් පුරා පළ වූ කතාවකි.


විවාහක පුරුෂයකු වෙනත් කාන්තාවක් සමග සිදු කරන අනියම් සම්බන්ධයක් ගැන මේ කෘතියෙහි කියවේ. පසුව ඔහුගේ එම සම්බන්ධතාවයට බිරිඳ විසින් සමාව දීම මගින් ඔවුන්ගේ පවුල් සංස්ථාව සුරැකේ.


මෙය ගණේමුල්ලේ "සුරේන්ද්‍ර ප්‍රකාශන" විසින් ප්‍රකාශිත කෘතියකි.


නසිත් අයෙක්

"නසිත් අයෙක්" කෘතිය "ඔරුවල බන්දු" මහතා විසින් ලියන ලද්දකි.

සුරාව නිසා මිනිසුන් මුදලින්, සෞඛ්‍යය තත්ත්වයෙන් හා පවුල් සංස්ථාවෙන් විනාශ වී යන ආකාරය මේ කෘතියේ දැක්වේ.

මේ නවකතාව "ඔරුවල බන්දු" මහතාගේ අත්දැකීම් ඇසුරෙන් කතාන්දර ස්වරූපයෙන් ලියා ඇත. "ඔරුවල බන්දු" මහතාගේ නවකතාවල තිබෙන විශේෂ ලක්ෂණයක් වන කවි මේ පොතෙහිද ඇතුළත්ව ඇත.


මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම"  විසින් ප්‍රකාශිත කෘතියකි.

Friday, September 24, 2010

කටු කොහොළින් වැසුණු මලක්

"කටු කොහොළින් වැසුණු මලක්" කෘතිය ලියා ඇත්තේ "වෛද්‍ය ජනක ජයසූරිය" මහතා විසිනි.

මෙම නවකථාව මුලින්ම පාඨකයාට ඉදිරිපත් කරන ලද්දේ "රැජිණ" පුවත් පතෙනි. ඒ සතිපතා පළ වන කතාවක් ආකාරයෙනි.

LTTE සාමාජිකාවක් සිංහල වෛද්‍යවරයකු විසින් යහමගට ගන්නා අයුරු දැක්වෙන මේ නවකථාව සත්‍ය කතාවක් නොවූවද කතාව කියවාගෙන යාමේදී එය සත්‍ය කතාවක් ලෙසට හැඟෙන පරිදි ලියා තිබීම ලේඛකයාගේ විශේෂ දක්ෂතාවයකි. 

"කටු කොහොළින් වැසුණු මලක්" කතෘ ප්‍රකාශනයකි.

Monday, August 30, 2010

ලුමුම්බාවෙන් බිහි වූ රෝහණ විජේවීර

"ලුමුම්බාවෙන් බිහි වූ රෝහණ විජේවීර" කෘතිය "ඔරුවල බන්දු" මහතා විසින් ලියන ලද්දකි.

රුසියාවේ ලුමුම්බා විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමට ගිය මුල්ම ශිෂ්‍ය කණ්ඩායමේ සිටි ඔරුවල බන්දු මහතා විසින් රෝහණ විජේවීර මහතා ගැන සත්‍ය තොරතුරු පාඨකයාට ලබා දීම සඳහා මේ පොත ලියා ඇත. එමෙන්ම ඔරුවල බන්දු මහතා අධ්‍යාපනය ලැබූ ලුමුම්බා විශ්ව විද්‍යාලය ගැන තොරතුරු, රුසියාවේ අධ්‍යාපන ක්‍රමය, රුසියාවේ නාගරික හා ගැමි සමාජය හා එතුමා සංචාරය කළ රටවල් පිළිබඳ තොරතුරු මේ කෘතියෙහි ඇතුළත්ව ඇත.

මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම"  විසින් ප්‍රකාශිත කෘතියකි.

මැකීගිය දඩමං

 "මැකීගිය දඩමං" නම් මේ කෘතිය "ආර්. එල්. ස්පිට්ල්" මහතා විසින් රචිත "Vanished Trails" කෘතියේ සිංහල පරිවර්තන යයි. මෙය පරිවර්තනය කරනු ලැබ තිබෙන්නේ "ඒ. පී. ගුණරත්න" මහතා විසිනි.

මෙම කෘතිය පරම්පරා තුනක වැද්දන්ගේ ජීවිතය විස්තර කරමින් එකම කතාවක ස්වරූපයෙන් ලියන ලද්දකි. වැද්දා ගල් ගෙවල වාසය කරමින් වනයේ තැනින් තැන ඇවිද ආහාර පාන සපයා ගැනීමෙන් ජීවත් වූ අවධියේ සිට ගෙපැල අටවාගෙන හේන් ගොවිතැනෙන් ජීවත් වන්නට පටන් ගත් අවධිය තෙක් වූ වැදි ජීවිතය මෙහි විස්තර වේ. නවකතාවකට අවශ්‍ය අංගයක් වශයෙන් බැහැරින් එකතු කළ යම් යම් දෙයක් හැරුනු විට හෙළදිව ආදී ම වැසියන් වූ වැද්දන්ගේ අන්තිමයන් පිළිබඳ මේ කතාව - වැද්දන්ගේ අන්තිම පදය - සත්‍ය කතාවකි.

මෙය මරදානේ "සූරිය ප්‍රකාශකයෝ"  විසින් ප්‍රකාශිත කෘතියකි.

Thursday, July 15, 2010

විල්පත්තු සිහිවටනය - තවත් පොඩි විස්තරයක්

"විල්පත්තු සිහිවටනය" බ්ලොග් සටහන සම්බන්ධයෙන් සරත් ගුණතුංග මහත්මයා එවූ ඊමේල් පණිවිඩය එලෙසම මෙහි උපුටා දක්වමි.

"චරිත් මහත්මයා, මේ කතන්දරය පටන් ගත්තේ ඔබමය.  එහි අනිත් කොටසද පල කිරීම ඔබන භාරගන්නේ නම් ඉතා අගනේය.  කතන්තතරයේ ඉතිරි කොටස මෙසේය.  මහා විශාල දැවැන්තපුරුශයෙකුගේ මල සිරුරකි.  මෙවන් දෙයක් හමු වූවිට ඒ ගැන ඒ දින වල් අපි සොයා බැලීමු.  අපේ සැකය හරි ගියේය.  ඒ ජයලාල් ආනන්දගොඩ නම් ඇඩ්ලින් විතාරන ඝාතනය කල මිනිසාගේ මෘත ශරීරය විය.  එකල එල්ලූ පසු මෘත ශරීරය පැමිනෙන්නේ වෛද්‍ය විද්‍යාලයටය.  මට කපා පරීක්ෂා කර ඉගෙනීමට තිබුනේ පපුව ප්‍රදේශයය.  ඒ ප්‍රදේශ ය ඉතා හොඳින් වැඩී තිබුනේය.  ඒ සඳහා මම අද පවා ආනන්දගොඩ මහතාට පින් අනුමෝදන් කරවමි .
නමුත් ගෙල ප්‍රදේශය එල්ලිමෙන් විනාශ වී ගොස් තිබුනි.  කෙසේ හෝ මම ආනන්දගොඩ මහතාට ස්තුති වන්ත වෙමි.  මේ සම්බන්ධව කවි පෙල්ක් ලියා ඇත.  මගේ ඉල්ලීම පරිදි මෙය පල කරන ලෙස මම ඔබෙන් කාරුනිකව ඉල්ලා සිටින්න්නෙම්.  ඔබට තෙරුවන් සරනයි."
 
 
1       කොලඹ් සරසවියෙ  ව්‍යව ඡේදන   හලේ
     ඇති මල කඳක ගෙල ඇඹරී කඩා හැලේ
     හේතුව සොයන්නට මහ පොත දිගට ඇරේ
         එල්ලා මරන ලද සිරකරුවෙක්ලු ගෙලේ

2       ඇඩිලින් විතාරණ තරුණිය මැරුවාට
 ජයලල් ආනන්දගොඩ චුදිතයා හට
 හිමිවිය මරන දඩුවම නීතියට රට
 සිරුරද අයිති වන්නේ නැහැපවුලකට

3
 පුවත්පත් වලන් කියැවෙන ලෙසට මෙයා
 මහ අපරාද කරුවෙකි, මහ බරක් කියා
 මිය යන තෙක්ම ගෙලැ එල්ලා තබනු කියා
 දුන්නා තීන්දුව විනිසුරු තුමන් (ද )_යා
4
 දෙනෙතට දෙනත හමු වී නැහැ මගෙ ඔහුට
 කිසි දින කථා කර නැහැ  ගත කල දින ටිකට
 අද දින වුවද ඇස හා නොගැටේ ඇසට
 දෛවයෙ සරදමකි මේ හමු වුනේ මට
5
 හැඩි දැඩි සිරුරකින් යුතු වුව නොමැත පණ
 මිනී මරුවෙක්ය, අද  නිසලව සිටින.
 ඔහුගෙ වරද පොත් වල ලියැවී තිබින.
 සිරුර කපන විට කිසිවක් හමු නොවුන.

6
 හමු වී නැතත් ජීව්ත් වූ දවස් වල
 නුඹ මිය ගියත් පෝරකයේ කඹය මුල
 වෙනසක් නොදුටුවෙමි,  සිරුරෙහි ඇතුලෙ  තුල
 මට කල උදව්වට පින මතු දින ඇදෙන කල

7       එක අපරාදයට දෙවරක් පව ගෙවෙන
 පුදුම ලෝකයකි  මේ ජීවිතෙ ගෙවන
 අද දින මිනී මරුවන් සිය ගනන් වන
 එක දඳුවමින් බෙරෙන හැටි බලනු මැන

Monday, July 12, 2010

විල්පත්තු සිහිවටනය

මේ පොත විල්පත්තු ඝාතන නඩුව("ඇඩ්ලින් විතාරන") පදනම් කරගෙන "විල්පත්තු සිහිවටනය" නමින් විශ්‍රාමලත් ශ්‍රෙෂ්ඨාධිකරණ විනිශ්චයකාර "ඒ.සී.අලස්" මහතා විසින් 1976 දී පළකරවනු ලැබූ කෘතියෙහි දෙවන මුද්‍රණයයි.

විල්පත්තු මිනීමැරුම් නඩුව හේතු කිහිපයක් නිසා සුවිශේෂ නඩුවක් වේ.එහි පරීක්ෂණ රටේ කිහිප පළාතකම - දකුණු, මැද, බස්නාහිර, වයඹ, උතුරු මැද යන හැම පළාතකම සිදු කෙරිණි.එහි කථා පුවත දකුණු පළාතේ ගෝනගලින් නුවර පළාතේ පල්ලෙතලවින්නටත්, නාගරික කලුතරින් පිටිසර කලවැල්ලාවටත්, කොළඹින් අලව්වටත්, පුත්තලමටත් අන්තිමේ අනුරාධපුර දිස්ත්‍රික්ක මායිමේ පිහිටි තිඹිරිවැවටත් ඇදී ගියේය.ප්‍රාදේශීය පොලිසියේත්, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේත් පරීක්ෂණ කටයුතු එක් පෙදෙසෙකට සීමා වූයේ නැති අතර එම කටයුතු සදහා නොගත් උත්සාහයක්ද නැති තරම්ය.

"විල්පත්තු මිනීමරුම" යේ කතා රසය කතෘගේම වචනවලින් මෙසේ සම්පිණ්ඩනය කළ හැක.

"ඇඩ්ලින් විතාරණට එය ගමනක අවසානය වූයේය.ගමන ඇරඹුණේ ළාබාල කෙල්ලක්ව සිටියදී, 1956 නොවැම්බර් 2 වැනිදා දුම්රියෙන් නුවර ගිය ගමනකි.ගමන අවසාන වූයේ ඈ තරුණ ස්ත්‍රියක්ව සිටියදී රාත්‍රී අන්ධකාරයෙන් මුවාවුණු පාලු වනගත මාර්ගයක් ඔස්සේ 1959 මාර්තු 14 වැනි දින කාර් එකකින් ගිය ගමනිනි.පළමු ගමනේත් අන්තිම ගමනේත් ඇය සමග එකට ගමන් ගත්තේ එකම තරුණයෙකි.මුල් අවස්ථාවේ ඔහු ඇගේ පෙම්වතාත් ඇගේ කුලුදුල් දියණියගේ පියාත් වීමට සිටි තැනැත්තාය.දෙවැනි අවස්ථාවේ ඔහු ඇගේ මාරයා වීමට සිටි තැනැත්තාය."

Thursday, July 8, 2010

යාපහුවේ ජන කතා

"යාපහුවේ ජන කතා" යන මේ කෘතිය ලියන ලද්දේ "ගාමිණී කන්දේපොළ" මහතා විසිනි.


යාපහුව ජන සමාජය තුළ අප්‍රකටව පවතින, තවමත් ලේඛනයට පැමිණ නැති ජන නිර්මාණ මෙලෙස සංග්‍රහ කර ඇත.


මෙහි සදහන් සියලු ජනකතා මිනිසුන්ගේ හෘද සාක්ෂිය තුළ තැන්පත්ව සමාජගත වූ ඒවාය.ඒ නිසාම මේවා සත්‍ය කතාය.ඒවයේ නිර්මාණකරුවෝද ඔවුහුමය.මෙම නිර්මාණ මෙරට ශිෂ්ටාචාරය තැනූ මිනිසුන්ගේ සොම්නසේ, දොම්නසේ, කදුළේ, ප්‍රේමයේ, විරහවේ, සුසුමේ ප්‍රකාශනයන්ය.නිර්මාණකරනය පිළිබද සාක්ෂි කැදවන අවස්ථාය.එබදු ජන නිර්මාණ මතු පරපුරට දායාද කිරීමට ගත් උත්සාහයකි මේ කෘතිය.


මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම"  විසින් ප්‍රකාශිත කෘතියකි.


අකාල මේඝය

"අකාල මේඝය" නම් මෙම නවකතාව "තිලක කුඩාහෙට්ටි" මහතා විසින් ලියූ "සංසාර බන්ධන" නවකතාවේ දෙවැනි කොටසයි.මෙහි ප්‍රථම කොටසින් චිත්‍රණය වූයේ ජීවන්තට කතරගම කිරිවෙහෙර අබියස දී කම්මුල් පහර ගැසූ කාන්තාව කවුරුන්දැයි සොයා ගැනීමට ගත් වෙහෙස අවසානයේදී තම උත්සාහය සාර්ථක වී ඈ අන් කිසිවෙකු නොව තමාගේත් ජානකීගේත් අසම්මත ප්‍රේමයට නැගී සිට තමා මරා දැමූ මිනීමරුවාගේ දියණිය හෙවත් තමන්ගේ පූර්ව අත්බවේ දී තම පෙම්වතිය බව සොයාගන්නා ආකාරයයි.ඒ ව්‍යායාමයේදී තම මිනීමරුවා පමණක් නොව පූර්ව භවික දෙමාපියන් ද සජීවී ව මුණ ගැසේ.

අකාල මේඝයේදී ජයදේවන්ගේ පුනරාවතාරය වූ ජීවන්ත තම ඉකුත් භවයේ පෙම්වතිය වූ ජානකීගේ දුවට හෙවත් භවානිට අකුරු කරන්නට ගොස් ඇගේ සිත පැහැර ගනී.භවානිගේ පාර්ශවයෙන් එය අප්‍රකාශිත ප්‍රේමයක් වුවත් ඇගේ පියාගේ දෘෂ්ටි කෝණයට අනුව ජීවන්ත යනු භවානිට ප්‍රේම කරමින් ඇගේ මව හා අනියමින් බැදී සිටින සල්ලාලයෙකි.සදාචාරයේ රැහැනින් වෙලා උපුල්ගේ පුරුෂාධිපත්‍යයේ යදමින් දෑත් දෙපා විලංගු ලා වලව්ව තුළ සිරගත වන ජානකීට දුවගේත්, ජීවන්තගේත් ප්‍රේමය දරා සිටීමට හෝ වළක්වා ලීමට හෝ නොහැකිවේ.

ජීවන්ත නැසීමට උපුල් යොදන උපක්‍රමය අසාර්ථක වන අතර බිරිදගේ පතිව්‍රතාව ගැන උකුස් ඇසින් බලමින් අන්‍ය විවාහක බිරින්දෑ වරුන් සමග අවකල් ක්‍රියාවේ යෙදෙන උපුල් කාමිනියකගේ තුරුලේ අවසන් හුස්ම හෙළන අතර ජානකී ඉතා ශෝචනීය ලෙස කනවැන්දුම් වී සමස්ත අන්දරයම ශෝකාන්තයක් බවට පත්වේ.මේ ක්‍රියාවලිය ජයදේවන්ගේ ප්‍රථම පෙම්වතිය වූ රේවතී සිය සිරුරට ගිනි තබා ගනිමින් කළ කුරිරු සාපයක දුෂ්ට විපාකයකැයි ජානකී අදහයි.

මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්‍රකාශිත කෘතියකි.

Thursday, July 1, 2010

නීල දෑස පුරා

දැන් මම කියන්න යන්නෙ "තිලක කුඩාහෙට්ටි" මහතා විසින් රචනා කරපු "නීල දෑස පුරා" කියන කෘතිය ගැනයි.


මේ කතාව මුලින්ම පළ වෙලා තියෙන්නෙ 1969 නොවැම්බර් 16 වැනි දා සිට 1970 සැප්තැම්බර් 08 වැනි දා දක්වා "රිවිරැස" පත්තරයේ 'තටු සිදගත් කුරුල්ලෝ' නමැති නවකතාව වශයෙනි.


කතාවේ සාරාංශය මෙහෙමයි.ගාල්ලේ තැපැල් ස්ථානයක වැඩ කරනු ලබන තරුණයකුගේ ප්‍රථම ප්‍රේමය බිද වැටුනු පසු ඔහු ත්‍රිකුණාමලයේ චීන වරාය තැපැල් ස්ථානයට මාරු වී යනවා.එහිදී ඔහුට මුණ ගැසෙන තරුණියක් හා ඇති වන ආදරක් ගැනයි මේ පොතෙන් කියවෙන්නෙ.


මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්‍රකාශිත කෘතියකි.

පත්තර රස්සාව

මේ පොත ලියල තියෙන්නෙ "දිවමිණ" පුවත්පතේ හා "දිවයින" පුවත්පතේ හිටපු කතෘ "මෙරිල් පෙරේරා" මහතා විසිනි.

පුවත්පතක් කෙසේ සකස් විය යුතද, එහි ලා සංයුක්ත බස් වහර කෙසේ හැඩ ගස්වා ගත යුතුද, තීරු රචනයක පවත්නා ගැටලු සහගත තැන්, දක්ෂ පුවත්පත් කලාවේදීන්ගේ හපන්කම්, කාටූන් කලාව, ඡායාරූප කාර්යය හා පිටු සකස් කිරීම ආදිය අන්තර්ගත මෙම පොතෙන් වැඩදායක විෂය ධාරාවන් රැසක් කෙරෙහි අවධානය යොමු කර ඇත්තේය.

මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්‍රකාශිත කෘතියකි.




Monday, June 28, 2010

සෝම හාමුදුරුවෝ - පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි චරිතාපදානය

දැන් කියන්න යන්නෙ මෑත කාලයේ ඉතාමත් ජනප්‍රිය වෙච්ච චරිත කතා පොතක් පිළිබදව.ඒ තමයි "සෝම හාමුදුරුවෝ - පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි චරිතාපදානය" නම් කෘතිය.මේ කෘතිය ලියා තිබෙන්නේ මා හිතමිත්‍ර මාධ්‍යවේදිනී "ඉන්දු පෙරේරා" මහත්මිය විසින්."ඉරිදා ලක්බිම" පත්‍රයේ කොටස් වශයෙන් පළ වූ මේ කතාව පොතක් ලෙස ප්‍රකාශයට පත් කරල තියෙන්නෙ 2001 වර්ෂයේ නොවැම්බර් 30 වන දා.

මෑත ඉතිහාසයේ මෙරට පහළ වූ ධර්ම විනය පිළිබද මනා පරිචයකින් යුතු විචිත්‍රවත් ධර්ම කථිකයාණන්වහන්සේ නමක ලෙස ජනතා සම්භාවනාවට පත් වන පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන්වහන්සේගේ ළමා විය, තුරුණු විය සහ පැවිදි ජීවිතයේ පළමු දශක දෙක මුල්කොට ලියැවී ඇති මෙම ග්‍රන්ථය මගින් උන්වහන්සේගේ ජීවන චරිතය විවරණය වන අතරේම සමකාලීන බෞද්ධ ජන සමාජය පිළිබද හරවත් දැනුම් සම්භාරයක්ද පාඨකයා වෙත ප්‍රදානය කෙරේ.

මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්‍රකාශිත කෘතියකි.

මහ පොළොව මධ්‍යයට ගිය ගමන

අද මම කියන්න යන්නෙ "ජිනේන්ද්‍රවංශ ද සිල්වා" මහත්මයා විසින් පරිවර්තනය කරනු ලැබූ "මහ පොළොව මධ්‍යයට ගිය ගමන"  නමැති කෘතිය ගැනයි.

"ජූල්ස් වර්න්" විසින් 1864 දී ලියනු ලැබූ "Journey to the center of the Earth" කෘතියේ සිංහල පරිවර්තනය වූ මෙම පොත, මුලින්ම ලියවී ඇත්තේ ප්‍රංශ භාෂාවෙන්.

රහස් අකුරින් ලියූ ලියවිල්ලක් මහාචාර්ය ලිඩොන්බ්‍රොක් හට හමු වූ පසු තම බෑනා ද, මාර්ගෝපදේශයකු ද සමග අයිස්ලන්තයට චාරිකාවක යෙදේ.පෘතුවි මධ්‍යය කරා ගිනිකදු ශිඛරයක ආවාටයෙන් අභ්‍යන්තරයට පිවිසෙන ඔවුහු රහස් මාවතකට පිවිසෙති.ඉක්බිති තවත් අභ්‍යන්තරයට ගොස් ප්‍රාග් ඓතිහාසික අත්භූත මුහුදු සත්වයන්ගෙන් ගහණ වූ පාලු භූගත මුහුදක් හරහා ආපසු නො එතැයි සිතෙන චාරිකාවකට යොමුවෙති.

මේ පරිවර්තනයෙහි තියෙන දුර්වලකමක් විදිහට මට පෙනෙන්නෙ ඉතා කුඩා පරිච්ඡේද වලින් යුත් වීමයි.

මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්‍රකාශිත කෘතියකි.

Thursday, June 24, 2010

සංසාර බන්ධන


මුලින්ම මම ලියන්න යන පොත තමයි "තිලක කුඩාහෙට්ටි" මහතා රචනා කරපු "සංසාර බන්ධන" කියන කෘතිය.මේ පොතේ තියෙන කතාවේ සාරාංශය මෙහෙමයි.

එක්තරා සිංහල ප්‍රාදේශීය දේශපාලඥයෙකු තමන්ගේ බාල පුතු හමුදාවට යවයි.ඔහුගේ උවමනාව බාල පුතු දෙවෙනි දුටුගැමැණු කුමාරයකු කිරීමය.එහෙත් යුදවාදී මානසිකත්වයක් නැති තරුණ ගුරුවරයකු වන ඔහුගේ වැඩිමහල් දරුවා මෝහන ප්‍රතිගමනයකට ලක් කිරීමේදී ඔහු ඉහත ආත්මයේදී ද්‍රවිඩ තරුණයකු බව සනාථ වෙයි.එමෙන්ම ඔහු ඉහත ආත්මයේදී ජීවිතයෙන් වන්දි ගෙවා ඇත්තේද මේ සාපලත් ජාතිවාදය නිසාය.එනම් ඔහු උඩරට සිංහල තරුණියකට ප්‍රේම කිරීම
නිසාය.

මෙම දේශපාලඥයාගේ වැඩිමහල් පුතුට කිරි වෙහෙර අබියසදී මුණ ගැසෙන සුරූපී තරුණියක් නිසා මේ සියල්ලන්ගේ ම ජීවිත උඩුයටිකුරු වෙයි.මේ තරුණ ගුරුවරයා ඉහත ආත්මයේ කවුද?කිරි වෙහෙර අබියස ඔහුට දැඩි කම්මුල් පහරක් එල්ල කරන මැදිවියේ සුන්දර කාන්තාව කවුද?දැඩි මානසික පීඩනයට ලක් වන මේ තරුණ ගුරුවරයාට ඔහුගේ ඉහත ආත්ම භවයේ තම ද්‍රවිඩ දෙමාපියන් හා ඔහු කුරිරු ලෙස ඝාතනය කරන ලද මිනීමරුවාද ඔහුට මුණ ගැසීමට ලැබේවිද?

ජාතිවාදය මෙන්ම කුලවාදය හා ආගම්වාද ද කරපින්නා ගෙන කුළල් කා ගනිමින් අප නටන නාඩගම අර්ථ ශූන්‍ය හුදු මායාකාරී වෙස් නැටුමක් බව මේ වෘත්තාන්තයෙන් ගම්‍යවේ.


මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්‍රකාශිත කෘතියකි.


(මේ පොතෙහි දෙවන කොටසක්ද ඇත.නමුත් ඒ පොත තවමත් කියවා නැති බැවින් ඒ පොත ගැන සටහනක් පසුවට තබමි.)

Wednesday, June 9, 2010

"පොතක් ගැන යමක් "

ලුත් බ්ලොග් එකක් පටන් ගන්න ඕනෙයි කියල හැමදාම හිත හිතා හිතියත් අදයි මේ අලුත් බ්ලොග් එක පටන් ගත්තෙ.මම මුලින්ම පටන් ගත්තු "චරිත්ගෙ සිතුවිලි" කියන බ්ලොග් එකේ දැන් දිගටම පල වෙන්නෙ ඉන්දු පෙරේරා ලියන ලිපි නිසා මට වෙනම බ්ලොග් එකක් මගේ විනෝදාංශ වලින් එකක් වන පොත් කියවීම පදනම් කරගෙන පටන් ගන්න ඕන කියල හිතුන.ඉතින් ඒ නිසා තමයි "පොතක් ගැන යමක්" කියන මේ බ්ලොග් එක මම පටන් ගත්තෙ.

මේ බ්ලොග් එකේ මම ලියන්න බලාපොරොත්තු වෙන්නෙ මම කියවන සිංහල හා ඉංග්‍රීසි පොත් ගැන පොඩි හැදින්වීමක් විතරයි.හැබැයි මම පොත් ගැන විචාරයක් නම් ලියන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ.බොහොම සරලව මම කියවපු පොත් ගැන හැදි
න්වීමක් විතරයි මම මේ බ්ලොග් එකේ ලියන්නෙ.

ඉතින් ඊලග බ්ලොග් සටහන තබන තුරු ඔබට "ආයිබෝවන්".